මළවුන්ගේ හෝරාව - The Hour Of Dead
සේරුවිල ගම්මානයේ බටහිරින් පිහිටි කඳු මුදුන් අතරින් මළ හිරු බැස යමින් සිටියේය.තවත් සුළු මොහොතකින් අඳුරු සෙවණැලි ගම්මානය වෙලා ගනු ඇත.ඉන්පසු එළැඹෙන්නේ මෙම මිහිතලය මත වෙසෙන සියලුම අමනුෂ්‍යයන්ට ශක්තිය හා ජීවය ලැබෙන අඳුරු රාත්‍රිය යි.
ගුරුවරියක වූ නයනා පාසල අවසන් වූ පසු ළමුනට සවස උපකාර පන්ති පවත්වා යළි නිවසට පැමිණෙමින් සිටියාය. ගම්මානයේ ගුරු පාර අසලින් බසයෙන් බැසගත් ඇය ගුරු පාර දිගේ පාගමනින් ම ගමන් ගත්තාය.
මේ වන විට වේලාව සවස 6 ද පසු වී තිබූ අතර ඇය තම විදුලි පන්දම දල්වා ගනිමින් ගමන් ගත්තාය. වෙනදාට ද නයනා මෙසේ රෑ බෝ වී නිවස වෙත ගමන් කළ හෙයින් ඇයට එය හුරුපුරුදු අත්දැකීමක් වූවාය.
මාර්ගයේ දෙපස ද එතරම් නිවාස පිහිටා නොතිබූ අතර එම එම ප්‍රදේශය මදක් පාළු බවක් ඉසිලුවේය. මේමොහොතේ නයනා ප්‍රදේශයේ සොහොන් පිටිය පසු කරමින් සිටියාය. සිතට චකිතයක් ඇති වුවද වෙනදාට ද කිසිදු ගැටලුවකින් තොරව ඇය මෙම ස්ථානය පසුකරන හෙයින් ඈ ඉදිරිය බලාම ගමන් කළාය. එක්වරම වාගේ මාර්ගය අසල පිහිටි නුගරුකක් මත සිටි උලමෙකු හඬ තලන්නට විය. එම අමිහිරි නාදය කන වැකෙත්ම නයනාගේ සිතට නැගී ආවේ අසීමිත භීතියකි.
තම සාරි පොටින් මුහුණට නැගුණු ඩහදිය බිඳු පිස දා ගත් ඇය පෙරටත් වඩා සිය ගමන වේගවත් කළාය. සොහොන් පිටිය පසුවුවද උලමාගේ හඬ තව තවත් ලන් ලන් ව ඇයට ඇසෙන්නට විය. තමා පිටුපස කිසිවෙකු හෝ පැමිණෙන පියවර හඬක් ඇයට ඇසුණේ මෙවෙලෙහි ය.
පිටුපස හැරී බැලීමට තරම් ශක්තියක් නොවූ ඇය ඉක්මන් ගමන දිවීමට පෙරළුවා ය. ගම්මානයේ වෙල් යාය දක්වාම පැමිණෙන තෙක් නයනා දිවීම නතර නොකළාය.
හති ලමින් පැමිණි ඇය මඳක් නතර වී ගිමන් හැරියා ය. මාවතේ ද ඇය හැර වෙනත් කිසිවෙකුත් නොසිටි හෙයින් ඇයගේ භීතිය තව තවත් තීව්‍ර වූවාය. තමාගේ හෘද ස්පන්දන වේගයේ හඬ පවා ඇයට ඇසෙන්නට විය.නැවතත් පියවර හඬක් පිටුපසින් ඇයට ඇසෙන්නට වූයේ මේ අතරතුරදීය.
සිතට දැනුනු අසීමිත භීතියත්,කුතුහලයත් කරණකොටගෙන නයනා පිටුපස හැරී බැලුවාය.පිටුපස හැරී බැලූ ඈ දුටු දසුනින් යටි යටිගිරියෙන් හඬ තැලූ වේ මුළු සේරුවිල ගම්මානයම මුසපත් කරවමිනි.
ඈ ඉදිරිපිට සිටියේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ අතිබිහිසුණු අයෙකි. සැබැවින්ම ඒ සිටියේ අමනුෂ්‍යයෙකි.
ශ්වේත පැහැති මීදුම් පටලයක් සමගින් පෙනී සිටි අමනුෂ්‍යය රුවෙහි දෙනෙත් ලෝහිත පැහැයෙන් බැබළුණේ ය. තියුණු දසන් විදහා පාමින් සිටි ඒ අමනුෂ්‍යයා දුටු නයනා නැවත නැවතත් භීතියෙන් විලාප නගා අවසානයේ සිහිසුන්ව මිහිමත ඇද වැටුණාය.
සිය දියණිය මේ වනවිටද නිවසට නොපැමිණීම හේතුවෙන් හේරත් බණ්ඩා කලබල වී සිටියේය.
"ලතා කෙල්ල තාම ගෙදර ආවේ නෑ මං ටිකක් බලලා එන්නම්..."
තම බිරිඳට පැවසූ හේරත් බණ්ඩා විදුලි පන්දම දල්වා ගෙන මාවතට පිවිසියේය.
සිය දියණිය සොයමින් ඔහු ඉක්මන් ගමනින් මාවත දිගේ පා නැගුවේය.
"බණ්ඩා මාමේ කොහෙද මේ තකහනියේ දුවන්නේ..?"
අතරමඟදී හමු වූ ප්‍රියන්ත ඇසුවේය.
"කෙල්ල තාම ගෙදර ආවේ නෑ. මං මේ මොකද කියලා බලන්න යන ගමන්..."
"මාත් මේ දැනුයි පැලේ ඉඳලා එන්නේ. ඉන්න මාත් ඉන්නම්..."
එසේ කිව් ප්‍රියන්ත ද හේරත් බණ්ඩා සමඟ ගමනට එක්විය. වෙල්යාය තෙක්ම ඔවුන් දෙදෙනා ඈ සොයමින් ගියහ.
විදුලි පන්දම් එල්ල කරමින් අවට සෝදිසි කරමින් ගිය ඔවුන් දෙදෙනාට මාවත අසල සිහිසුන් ව වැටී සිටි නයනා හමු වූහ.
"දෙවියනේ...! මගේ කෙල්ල..."
හේරත් බණ්ඩා කෑ ගැසුවේය.
ප්‍රියන්ත ද කලබල වී විදුලි පන්දම නායනා වෙත එල්ල කළේය. ඈ සිහිසුන්ව මිහි මත වැටී සිටියා ය.ගම්මානයෙ අනෙක් අයටද ඇසෙන සේ ප්‍රියන්ත හූ හඬ තැබුවේය.
මිනිත්තු කිහිපයකින් ගම්මුන් එම ස්ථානයට එක්රොක් වූහ.
"කතා කරපන් උඹට මොකද උනේ..."?
හේරත් බණ්ඩා නයනා සොලවමින් ඇසුවේය.
"නංගිට සිහිය නෑ... ඉක්මනින්ම වතුර ටිකක් අරන් වරෙන් ලා..."
ප්‍රියන්ත කෑගැසුවේය.
ගම්වැසියෙකු ජලය රැගෙන ආවේය. ප්‍රියන්ත ඉන් ස්වල්පයක් ගෙන නයනාගේ මුහුණට ඉසින්නට විය. මොහොතකින් ඈ දෙනෙත් විවර කලාය. ඈ දඟලන්නට විය.
"නංගි මොහොකට හරි බය වෙලා වගේ. මේ රෑ තනියම යන එන ගමන් බිමන් හොඳ නෑ."
ප්‍රියන්ත කීවේය.
"උඹ කාටද බය වුණේ නයනා...?"
හේරත් බණ්ඩා ඇසුවේය.
එහෙත් ඈ කිසිවක් නො පැවසුවාය. විදුලි පන්දමේ ආලෝකයෙන් ප්‍රියන්ත දුටුවේ නයනාගේ ගෙල සීරී ඇති අයුරුය.
"මොහොතක් ඉන්න... බලන්න නංගි ගේ බෙල්ලේ සීරිම් තුවාල"
"මේකිට මහසෝනා ගහල වගේ...ඉක්මනට මේකිව ජයසේන ගුරුන්නාන්සේ ගාවට අරන් පලයල්ලා...නැත්නම් ගොඩ ගන්නව බොරු."
රන්මැණිකා නම් වූ ගමේ එකියක් කීවාය.
"රන්මැණිකා කියන කතාව ඇත්ත බණ්ඩා මාමේ.නංගිට අමනුෂ්‍යය දෝෂයක්. අපි ඉක්මනට ජයසේන ගුරුන්නාන්සේ ලඟට යමු."
ප්‍රියන්ත කීවේය.
ප්‍රියන්ත ගේ කීමට එකඟ වූ හේරත් බණ්ඩා ගමේ තවත් කිහිප දෙනකුගේ සහයෝගය ඇතිව නයනා ව ඔසවා ගෙන ජයසේන ගුරුන්නාන්සේ ගේ නිවස වෙත ගමන් කළහ.
නයනා පරීක්ෂාකල ගුරුන්නාන්සේ මෙසේ කීවේය.
"මේකිට ගහලා තියෙන්නේ මහසෝනාටත් වඩා භයානක අමනුෂ්‍යය ආත්මයක් වගේ. මට හිතාගන්න බැරි ඒ මොකාද කියල..."
මෙය ඇසූ ගම්මුන් භීතියෙන් මුසපත් වූහ.
"මං දැනට නූලක් මතුරන් නම් අපි බලමු මොනවද වෙන්නේ කියලා."
එසේ කියමින් ජයසේන ගුරුන්නාන්සේ නූලක් ජප කර නයනාගේ ගෙලට දමා ගැට ගැසූවේය.
"දැන් ඉතින් බය වෙන්න කාරියක් නෑ.අපි හෙට උදේ වෙනකල් බලන් ඉමු. ඇයව තනි කරන්න එපා."
නූල ගැට ගැසූ පසු ඇය මදක් සන්සුන් වූවා ය. හෝරාවක් පමණ ගත වන විට නයනා සිටියේ තම නිවස තුළය.
"දෙවියනේ..! මේකි බේරිලා තියෙන්නේ අනුනවයෙන්."
සිදු වූ සියල්ල හේරත් බණ්ඩාගෙන් අසා දැන ගත් නයනා ගේ මව වූ ලතා කීවාය.
"ඒක නේන්නම් මේ රෑ බෝ වෙලා යන එන ගමන් හොඳ නෑ කියලා මං කී සැරයක් නම් කියල ඇත් ද.කෝ...කණකට ගන්න එකක් ය."
හේරත් බණ්ඩා කීවේ කේන්තියෙනි.
"ජයසේන ගුරුන්නාන්සේ කියන විදියට මේකිට ගහපු යකා කවුද කියලා මිනිහවත් දන්නේ නෑ.මහසෝනා ටත් වඩා භයානක එකෙක් කියලයි ගුරුන්නාන්සේ නම් කියන්නේ..."
උදෑසන වන විට නයනා තරමක් සුවය ලබා සිටියාය. ඇයගේ ගෙලෙහි තිබූ සීරීම් තුවාල මැකී යමින් තිබුණි.
නයනා ගේ මව වූ ලතා ඇය වෙත ගියාය.ඒ වන විට නයනා අවදිව සිටියාය.
"කෙල්ලේ උඹට දැන් හොඳයිද...?"
"මට...මට... මොකද උනේ...?"
නයනා අවසිහියෙන් මෙන් තෙපලුවාය.
"උඹට මතක නැද්ද ඊයේ රාත්‍රියේ උනේ මොකක්ද කියලා...?"
නයනා තම හිස දෑතින් බදා ගත්තා ය. තමාට සිදු වූයේ කුමක්ද යන්න ඇයට සිතා ගැනීමට නොහැකි විය මේ මොහොතේ හේරත් බණ්ඩා ද ඔවුන් අසලට පැමිණියේය.
"කෙල්ලේ උඹට මොකද උනේ කියලා කියපන්...?"
නයනා පෙරදින රාත්‍රියේ සිදු වූ සිදුවීම් මෙනෙහි කරන්නට වූවාය.
මිනිත්තු කිහිපයක් ගත වන විට ඇයට සිදුවූ සිදුවීම් සිතට ගලා එන්නට විය. තමා වෙල්යායේ දී දුටු ඒ අති බිහිසුණු දර්ශනය සිහිපත් ව ඇය උමතුවෙන් මෙන් කෑ ගැසුවා ය. ඇය පාලනය කිරීමට ලතා හා හේරත් බණ්ඩා කොපමණ උත්සාහ කළද එය නිශ්ඵල වූහ.
"ඉක්මනින් ජයසේන ගුරුන්නාන්සේ එක්ක එන්න. මේකිට ආයෙත් ලෙඩේ වැඩි වෙලා."
ලතා කීවාය.
හේරත් බණ්ඩා හැකි විගස ජයසේන ගුරුන්නාන්සේ ද කැටුව ආවේය.
"බොහෝම භයානක දර්ශනයක් කෙල්ල දැකල තියෙන්නේ. ඒකයි මේ තරම් බය වෙලා ඉන්නේ..."
තෙල් ස්වල්පයක් ගෙන එයට මතුරා එය ඇයගේ හිසෙහි ගැල් වූ ගුරුන්නාන්සේ හේරත් බණ්ඩා ඇමතුවේය.
"මේකිට යක්ෂයාගේ බැල්ම වැටිලා. මේක සුව කරන්න නම් අපිට ලොකු ශාන්තිකර්මයක් සිදුකරන්න වෙනවා."
"මොනවා හරි කරලා මගේ කෙල්ල බේරලා දෙන්න ගුරුන්නාන්සේ."
හේරත් බණ්ඩා කීවේ බැගෑපත්ව ය.
මොහොතක් ගත වන විට නයනා සන්සුන් වූවාය. ඈ යහනේ වැතිරුණේ තම සිරුරට දැනුණු අප්‍රාණික බව හේතුවෙනි.
රාත්‍රිය උදා වූ අතර දවසේ වැඩ නිම කර මාවත දිගේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකි. වේලාව රාත්‍රී 7 ට ආසන්නව තිබුණි. ඔවුන් ගම්මානයේ සොහොන් පිටියට ආසන්න වන විට ම පියල් සිය මිතුරා ඇමතුවේය.
"සරත් අද හුඟක් රෑ බෝ වුණා. ඊයේ රාත්‍රියේ නයනා නංගි බය වෙලා තිබුණේ කාට ද දන්නේ නෑ...මටනම් හරිම බයක් දැනෙනවා..."
"බයවෙන්න දෙයක් නෑ පියල් අපි දෙන්නා වෙනදටත් මේ වගේ රෑ බෝ වෙලා යනවනේ..."
සරත් කීවේය.
"ඒත් නයනා නංගී සිහි නැතුව වැටිලා හිටියේ යකෙක් ගහලා කියලා හැමෝම කතා වෙනවා."
"පිස්සු නැතුව වරෙන්.මං ඉන්නකම් ඔය මොකෙක්ටවත් බය වෙන්න ඕන නෑ..."
දෙදෙනාම සොහොන් පිටිය පසුකරමින් සිටියහ.
"මට අඩි සද්දයක් ඇහෙනවා..."
පියල් කීවේය.
"කෝ මටනම් ඇහුනේ නෑ."
සරත් කීවේය.
"ඔය... ඔය... ඇහෙන්නේ..."
පියල් කීවේ ගොත ගසමිනි.
සරත් හොඳින් කන් දුන්නේය. එහෙත් ඔහුට කිසිවක් නො ඇසුණි.
"ඔය ආයෙත් ඇහෙනවා..."
පියල් නැවත නැවතත් කීවේය.
සරත් සැරසුණේ පිටුපස හැරී බැලීමට ය.
"එපා...! පිටිපස්ස බලන්න එපා...!"
පියල් කීවේ භීතියෙනි.
"විකාර නැතුව හිටපන්..." යයි කියමින් සරත් පිටුපස හැරුණේය.
දුටු දසුනින් ගල් ගැසුනාක් මෙන් බලා සිටි සරත් ගේ මුව ගොළු විය. තම මිතුරා ගේ හැසිරීමේ වෙනසක් දුටු පියල් ද සිතට නැගුණු භීතිය හේතුවෙන්ම පිටුපස හැරුණේය.
පියල් ගේ මුවින් පිටවූයේ මරලතෝනියකි. පිටුපස සිටියේ ඔවුන් මින් පෙර කිසි දිනෙක දැක නොතිබූ අද්භූත රුවකි.ශ්වේත පැහැති මීදුම් පටලයක් සමගින් පෙනීසිටි අද්භූත රුව ඔවුන්ට වඩ වඩාත් සමීප විය.
තියුණු දසන් විදහා පාමින් සිටි අමනුෂ්‍යය රුව දුටු දෙදෙනාම භීතියෙන් මුසපත් වූහ.
පියල් දෙවරක් නොසිතාම මාවත දිගේ දිව යන්නට වූයේ හූ හඬ තලමිනි. සරත් ද අතිශය භීතියට පත්ව පියල් පිටුපසින් දිව ගියේය.
මෙසේ දිව යන අතරතුරදී සරත් පය පැකිලී ගොස් ඇද වැටුණේය. ඔහු ඇද වැටුණේ වෙල්යාය හරහා සකසා තිබූ ඇල පාර මතටය. ඇද වැටුණු ඔහු ගේ හිස ගලක ගැටීම හේතුවෙන් ඒ මොහොතේ දී ම සරත් මිය ගියේ ය.
වෙල් යාය ද පසු කරමින් දිව ගිය පියල් මේ කිසිත් නොදත්තේය. තම මිතුරා පිළිබඳව ඔහුගේ සිතට නො නැගුණේය. දිව ගිය ඔහු නතර වූයේ තම නිවස තුළය.
තත්පර කිහිපයක් පමණ හති ලෑ ඔහු අවසානයේ සිහිසුන්ව ඇද වැටුණේය.
ජයසේන ගුරුන්නාන්සේ නූලක් ජපකර පියල් ගේ ගෙලෙහි බැන්දේය.මේ වන විට පියල් සිහි ලබා තිබූ අතර ඔහු අවසිහියෙන් දොඩවමින් සිටියේය.
"ගුරුන්නාන්සේ පුතාට මොනව වෙලාද..?"
පියල් ගේ පියා වූ සිරිසේන ඇසුවේය.
"මේකත් අර නයනා දැරිවියට උනු සිද්ධිය වගේමයි.යක්ෂයාගේ බලපෑම මේ ගමට එල්ල වෙලා..."
ගුරුන්නාන්සේ කීවේය.
ගම්මුන් කිහිප දෙනෙකුම පියල් ගේ නිවසේ මේ මොහොතේ රැඳී සිටියහ.
"අපි ගමේ ශාන්ති කර්මයක් කරමු. මේ යක්ෂ උවදුරෙන් මිදෙන්න."
ගම්වැසියෙක් වූ ඩිංගිරාල කීවේය.
"මාත් ඔය ගැන හිතුවා.අපි එහෙම දෙයක් වත් කරමු."
ගුරුන්නාන්සේ කීවේය.
සරත්ගේ නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මවත් පියාත් කලබල වූහ. ගම්වැසියන් කිහිප දෙනෙකු ද සමඟ සරත්ව සෙවීමට අමරසිරි පිටත් විය.
ගිනි හුල් දල්වා ගත් පිරිස පියල් ගේ නිවස ආසන්නයට ම ආහ. ජයසේන ගුරුන්නාන්සේ ද ඒ වන විටත් එහි සිටියේය.
"කොහෙද මේ කට්ටිය කලබලෙන් යන්නේ...?"
ගුරුන්නාන්සේ ඇසුවේය.
"සරත් තාම ගෙදර ආවේ නෑ.අපි මේ හොයන්න යන ගමන්.පියල් එක්ක වෙනදා එන්නේ..."
අමරසිරි කීවේය.
"මොනවා! පියල් නම් ඉන්නවා. ඒත් මිනිහා කාට හරි බය වෙලා.සිහියක් පතක් ඇත්තේ නෑ දොඩවනවා..."
"එතකොට සරත්ට මොකද උනේ...?"
"අපි යමු බලන්න."
එසේ කියමින් ජයසේන ගුරුන්නාන්සේ ද පිරිසට එක් විය. හෝරා ගණනාවක් ම සරත්ව සෙව්වද කිසිවකුටවත් ඔහු සොයා ගැනීමට නොහැකි විය.
"මේ කොල්ලට මොනවා වුනාද...?"
අමරසිරි ඇසුවේ හඬමිනි.
පියල් ගෙන් සරත් පිළිබඳව ඇසුවද ඔහුට කිසිවක් මතක නොතිබුණි.ඔහු සිටියේ අවසිහියෙන් දොඩවමිනි.
උදෑසන එළදෙනුන්ගෙන් කිරි දෙවීමට පිටත්ව ගිය කුසුමා දිය පාරේ වැටී උන් සරත්ව දුටුවාය. සිය කාරිය පසෙක දැමු ඇය ගම්මුන් දැනුවත් කිරීමට දිව ගියාය.
අඩ හෝරාවකට පමණ පසු ඇල පාර අසල විශාල පිරිසක් රැස්ව සිටියහ. තරුණයින් කිහිපදෙනෙකු දිය පාරට බැස සරත්ව ගොඩට ගැනීය.
"ඉක්මනින් ඉස්පිරිතාලෙට අරන් යමු..."
"වැඩක් වෙන්නේ නෑ. සරත් මැරිලා."
සරත්ගේ හිසේ විශාල තුවාලයක් විය.ඒ රාත්‍රියේ ඔහු ගේ හිස ගලක ගැටි සිදුවු තුවලයයි.ඊට අමතරව ඔහුගේ ගෙල සීරී තිබුණි.
අමනුෂ්‍යයා ගේ ප්‍රහාරය සරත්ට ද එල්ල වී තිබුණේ ය.ගමේ ඉතා අවාසනාවන්ත ඛේදවාචකයක් එසේ සිදුවුණි. පාළු මූසල බවකින් මුළු ගම්මානයම වෙලී ගියේය.
ගම්මානයට රාත්‍රිය අතිශයින්ම භයානක විය. හොල්මන් අවතාර පිළිබඳව අසීමිතව විශ්වාස කළ ගම්මුන් රාත්‍රියේ ගමන් බිමන් යෑමෙන් වැළකී සිටියහ.
නයනාට හා පියල්ට ශාන්ති කර්මයක් සිදු කරන ලදී.එහෙත් ඔවුන් පෙර සිටි තත්ත්වයට නම් යළි පත් නොවූහ. මෙයට හේතුව කුමක්ද යන්න ජයසේන ගුරුන්නාන්සේට පමණක් නොව සේරුවිල ගම්මානයේ විසූ එකදු ගම් වැසියෙකුටවත් සිතාගැනීමට නොහැකි විය.
දිනක් රාත්‍රියේ නයනා හා පියල් හිටි හැටියේම අතුරුදහන් ව තිබුණේ ය.
ගම්මානයට වින කරන අමනුෂ්‍යයා විසින් ඔවුන් දෙදෙනා රැගෙන ගිය බැව් ගම්වැසියන් තරයේ විශ්වාස කරන්නට වූහ.
නයනාටත් පියල්ටත් සිදු වූයේ කුමක්ද? ඔවුන් දෙදෙනාටම එම අද්භූත අමනුෂ්‍යයා ගේ බලපෑම එල්ල වී තිබුණි. මෙම බලපෑමෙන් ඔවුන් දෙදෙනාට මිදීමට නොහැකි විය.
කාලයත් සමගම එම අද්භූත බලවේගය ද
සියල්ලන්ටම අමතක වූහ.අමනුෂ්‍යයා ද ඉන් පසු ගම්මානයේ කිසිවෙකුවත් දැක නොතිබුණේය.
අමනුෂ්‍යයා ගම්මානයට පැමිණියේ ඇයි ද?ගම්වැසියන්ට බලපෑම් කලේ ඇයි ද? යන්න තවමත් අබිරහසකි.
---------------------------------------------------------------------------------------------------------------------------
සැලකිය යුතුයි:මෙම සිදුවීම හා මෙහි ඇතුලත් නම් ගම් සියල්ලම මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
කර්තෘ-රුවන් චින්තක. (Author - Ruwan Chinthaka)
Comments
Post a Comment