කනත්ත - The Graveyard

"නැන්දේ ...නැන්දේ ..."

"කනත්තට තව දුරද ? "

අපි අහපු එක ඇහුනෙවත් නැති ගානට ඒ නැන්දා ගෙයක් පැත්තට ඇවිදගෙන ගියෙ අපේ හිත්වලටත් ප්‍රශ්නයක් ඉතුරු කරලා ..

"කවුද බන් ඒ ? කන් ඇහෙන්නෙ නැද්ද මන්ද බන්" .  

"සදරු බැහැලා ගිහින් අහපන් තවම පාන්දර 4 නිසා නැන්දා බය වුනාද දන්නෙ නෑනෙ බන් අපි හොල්මන් කියලා."

මගේ නම චරිත් , ගෙවල් තියෙන්නෙ කිරිබත්ගොඩ උනාට දැන් මේ ඇවිත් ඉන්නෙ යාලුවෙක්ගෙ ආච්චි නැතිවෙලා ඒ මළ ගෙදරට . කළගෙඩිහේනෙ තමා මළ ගෙදර තියෙන්නෙ.  

මමයි සදරුයි මළ ගෙදරට ආවේ දවස් 2ට කලින් දැන් මේ මළ ගෙදරින් අපි බයික් 4කින් පිටත්වුනේ මිනියෙ අවසන් කටයුතු අද හවස නිසයි.  පාන්දරම මිනිය තියෙන තැනින් පිටත්වුනේ වළ කපන උන් ටික වැඩේ කරනවද බලන්නයි , පොඩි බැනර් දෙක තුනකුයි තොරණකුයි ගහන්න කියලා හිතාගෙන.

එහෙන් එද්දි 3.30ට විතර ඇති. පට්ටම කළුවරයි අපිට පාරවලුත් දන්නෙ නැති නිසා කට්ටියගෙ පස්සෙන් තියාගෙන හිමීට ගියා. මායි සදරුයි ආවෙ Ct100 බයික් එකක අනිත් බයික් ඔක්කොම වගේ pulser එකම එකක් hornet එකක්.  

කියන්න ඕන නෑනෙ කොල්ලො ටිකකට බයික් ටිකක් එක්ක බල්ලෙක්වත් නැති හිස් නිදහස් පාරවල් ටිකක් සෙට්වුනාම... "

මුල් ටික අපේ එවුන් හිමිට ගියේ මට පස්සෙන් තියාගෙන වරෙන් කියලා ඒත් එක පාරටම හොනට් එකේ එකා රේස් කරලා යන්න ගියා. අපේ අනිත් උනුත් ගේම අතෑරියෙ නෑ. විනාඩි ගානකින් මහා මෝටර් සයිකල් ධාවන තරගය ආරම්භ වුනා.  

ඇත්තම කියනවනම් තත්පර ගානක් යනකොට මමයි සදරුයි විතරයි පාරෙ . අරුන් මිසින් වෙලා . විදලා ගිය උන් යද්දි කියාගෙන ගියේ කෙලින්ම වරෙන් තව කිලෝමීටර් 3න් කනත්ත කියලා. ඒ හින්දා හොදයි නැත්නම් මූයි මායි කොහෙන් පාර හොයාගන්නද ? 

          සදරුයි මායි නොදන්න පැත්තක දැන් තනිවෙලා . පේන පැත්තකවත් ලයිට් එලියක්වත් නෑ. අවුලක් නෑ ඉතින් අරූ කෙලින් එන්න කියපු නිසාම මමත් පුලුවන් උපරිමේටම ගියා . අරූටයි මටයි දැන් කිලෝමීටර් 3කට වඩා ආවා කියලත් ශුවර් ඒත් තවම කනත්තක් නෑ.  

ඉස්සරහට ගියාට මම ගියේ දෙපැත්ත ගැන බල බලා කලුවර නිසා මගහැරෙයිද බලන්න. 

 වෙලාව පාන්දර 4ට කිට්ටු නිසාද කොහෙද එක තැනක පාර අයිනෙ ආච්චි කෙනෙක් මල් කඩ කඩා හිටියේ පන්සල් යන්න වෙන්න ඇති.

මම කතා කලත් ඒ ආච්චිට ඇහුනෙ නෑ. ආච්චි කියන්න බැරි නිසා නැන්දෙ කියලමයි මමනම් කතා කලේ ,ඒත් ඇහුනෙ නැති නිසා සදරුව බස්සලා යැව්වෙ කනත්ත තියෙන තැන හරියටම අහගෙන එන්න කියලා.. 

මට දැන් පේනවා සදරුවා ආච්චිගෙන් විස්තර අහනවා ආච්චි මොකුත්ම කතා නොකර අත දික්කරනවා විතරයි මමනම් දැක්කෙ. සදරුවා ආයිත් දුවගෙන ඇවිත් බයික් එකට නැග්ගා. 

"මොකෝ බන් සදරුවා ආච්චි කියන්නෙ?"

"මොකුත් නෑ බන් අත දික්කරලා ඉස්සරහට යන්න පෙන්නුවා මාත් හා තැන්කියු කියලා ආවා. මම හිතන්නෙ කතා කරන්න බැරි කෙනෙක්ද කොහෙද ... "

"එහෙමත් එකක්ද තව පොඩ්ඩක් යමන්කො බලන්න එහෙනම්" කියාගෙනම මම බයික් එක ස්ටාර්ට් කරන් මීටර් 10ක්වත් ගියෙ නෑ ආච්චි හිටිය තැන පහුවෙලා වංගුව ගත්ත ගමන්ම අපේ ඉස්සරහට ඩයිනමෝවක් ගහගෙන් ආවෙ සයිකලයක්.  

"අංකල් අංකල්...."

මම නවත්තන්නත් කලින් වාහනෙන් බැහැපු සදරු අංකල්ව නවත්තගෙන කනත්ත තියෙන තැන ඇහුවා. 

අවුරුදු 50ක විතර අහිංසක මනුස්සයෙක් වුනු ඒ අංකල්ගෙ බයික් එකේ පිටිපස්සෙ මොනාහරි ලොකු පොදියක් ගැට ගහලා තිබ්බා . මොනා හරි පාන්දරම අරන් යන කෙනෙක් වෙන්න ඇති.  ඇගේ තිබ්බෙ කලිසම විතරයි ඇග පත ලොකුවට තිබුනත් හෙනම අහිංසක පෙනුමක් තිබුන ඒ අංකල් කතා කලෙත් හෙනම අහිංසක විදියට. 

"පුතාලා තව මීටර් 100ක්වත් නෑ ඔහොමම ඉස්සරහ වංගුව ගන්නකොටම දකුණු අත පැත්තෙ තියෙන්නෙ කනත්ත හොයාගන්න ලේසි වැටක් ගහලා තියෙනවා ගඩොල් තාප්පෙකුත් එක්කම."  

අංකල්ටත් ස්තූති කරපු සදරුයි මායි ආයිත් බයික් එකට නැග්ගා. මම සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බැලුවෙ සයිකල් එකේ බ්‍රේක් සද්දයක් ඇහුන නිසයි. 

අංකල් ටිකක් ඉස්සරහට ගිහින් මල් කඩ කඩ හිටපු ආච්චිගාව නවත්තලා කතාවක් .  ඒකත් කන්නාඩියෙන් බලාගෙනම මම ඉස්සරහට ගියේ ඉක්මනට යාලුවො ටික හොයාගන්න .

අංකල් කියපු විදියටම කනත්ත තිබ්බෙ ගොඩක්ම ළගින් අපේ සෙට් එක පාර අයිනට වෙලා බැනර් දෙක එල්ලන්නත් හදනවා.  

"මොනාද යකෝ චරිත් උබලා බඩගෑවද මෙච්චර වෙලා?"

"පලයන් නිෂාන් යන්න උබලගෙ ගම උනාට මේක අපේ ගම නෙමේනෙ." මම උත්තර දුන්නෙ බයික් එක අයිනකින් නවත්‍තලා බහින ගමන්මයි. 

පැයකට වඩා එතන වැඩ ටික ඉවරවෙලා අපි කනත්ත ඇතුලට යද්දි පාන්දර 5ත් පහුවෙලා.

කනත්ත ඇතුලෙ ලයිට් දාලා තිබ්බත් තිබ්බෙ පොඩි එලියක් විතරයි. කනත්තේ ආච්චිගෙ වල කපන තැනට පොඩ්ඩක් එහායින් අලුතෙන් වල දාපු මිනී කිහිපයක්ද කොහෙද තිබ්බෙ.  

"ඒ අඩෝ නිෂාන් මේ මිනී ඊයේ වලලපුවද නැත්නම් පෙරේදා ඒවද? බලපන්කෝ තවම මල්වඩම් වල මල් ටිකවත් හරියට පරවෙලා නෑනෙ."  සදරු ඇහුවෙ මමත් අහන්න හදපු එකමයි. 

"ආහ් ඔය පෙරේදා වලලපු මිනී බන් ඇක්සිඩන්ට් එකක් වෙලා නැතිවුන කට්ටියකගෙ මිනී බන්...."

"අප්පා! පව් බන් කොහෙද ඇක්සිඩන්ට් එක?" මම ඇහුවෙ තවත් විස්තර අහගන්න හිතාගෙන. 

"අනේ මේ උබට මොකටද ඒ ගැන විස්තර .. වරෙන් යමන් දැන්  එළියත් වැටීගෙන එන්නෙ ආච්චිගෙ මිනිය වැලලුවට පස්සෙ මම උබට විස්‍තර කියන්නම් හවසට දැන් යමන්"

කලුවර නිසා සොහොන් කොත් දෙකේම පින්තූරත් එච්චර පැහැදිලි නැති නිසා හෙටම බලන්න හිතාගෙන අපිත් එතනින් පිටත් වුනා.  

බයික් එකේ ටික දුරක් යනකොට මම සයිඩ් කන්නාඩියෙන් පස්ස බැලුවෙ නිකමට වගේ.  අපි පහුකරන් ආපු වංගුවෙන් දිලිසෙන ඇස් දෙකකින් කවුරු හරි බලාගෙන ඉදලා ආපහු කැලෑවට පයිනවා මම හොදටම දැක්කා. 

තත්පර ගානකට හිත බයවුනත් පූසෙක් හරි බල්ලෙක් හරි වෙන්න ඇති කියලා හිතාගෙන මම ආයිත් ඉක්මන් කලා . 

එදා හවස අපි ආපහු කනත්තට ආවෙ නිශාන්ගෙ ආච්චිගෙ භූමදානයට. 

අපි හිතුවට වඩා සෙනගක් වටේ පිරිලා හිටියා. අන්තිම ටික ෆොටෝ ගන්න කියලා කැමරාවක් මගේ අතර නිෂාන් දුන්න නිසා මට දැන් කරකියාගන්න දෙයක් නැ. සදරුටයි මටයි අඩුම තරමින් ම්නිය හරියට පේන්නෙවත් නෑ.. 

"ඕයි චරිත් කොහොමද දැන් ෆොටෝ ගන්නෙ?"  සදරුවා වටේ බල බල අහන්න ගත්තා. 

කනත්තෙ තාප්පෙට එහා පැත්තෙ ස්ලැබ් එකක් තියෙන ගෙයක් මට කණාවට වගේ මීටර් උනා. ඒකට නැග ගත්තනම් ලස්සනට ෆොටෝ ගන්න තිබ්බා කියලා මට තේරෙන්න විනාඩියක්වත් ගියෙ නැහැ. 

මම සදරුවත් ඇදගෙන ගිහින් නැග්ගෙ තාප්පෙන් ඒ ස්ලැබ් එකට. ස්ලැබ් එකේ හිටියේ හතර දෙනයි. අපේ වෙලාවටද කොහෙද එතන අර උදේ හිටපු අංකලුයි නැන්දයිත් හිටියා. තව පොඩි කෙල්ලෙකුයි අපේ වයසෙ වගේ කොල්ලෙකුයිත් හිටියා. 

"ආහ් අංකල් අපි හිටියට අවුලක් නෑනෙ අපිව මතකනෙ උදේ පාර ඇහුවෙ අපිනෙ"

"මොකෝ පුතා.... අමතක නෑ.. මතකයි මතකයි ඔයාලා ඉන්න අවුලක් නෑ අපිට අංකල් ඒක කියාගෙනම අනිත් කට්ටියත් එක්කම හිනාවුනා." 

මම පින්තූර ගන්නකන් සදරුවා ඒ අංකල්ලා එක්ක කතාව. අංකල්ට කතා කරන්න කියලා ඇන්ටි ගෙට ගිහින් විනාඩි 10න් ආවෙ අපිට බීමත් අරගෙන. 

ඒ අස්සෙන් අර පොඩි කෙල්ලයි අපේ වයසෙ එකාගෙනුයි වදේ උන්ගෙත් photo ගන්න කියලා. 

මම ඉතින් බීම එකත් බොනගමන්ම උන්ගෙත් pohto දෙකක් අරන් සදරුව මැදට තියලා ඇන්ටිවයි අංකල්වයි දෙපැත්තෙන් තියලා තව photo එකක් ගත්තේ ඒ මිනිස්සුන්ගෙ මනුස්සකම මතක තියාගන්න. කොහොමත් මොන ෆොටෝ ගත්තත් අවුලක් නෑ මේක සුද්ධ කරන්නෙත් මගේ ස්ටූඩියො එකෙන්නෙ අපිට ඕන ටික අරන් අරූගෙ ටික විතරක් දෙන්න පුලුවන්නෙ ඒ නිසා මම අවුලක් නැතුව ෆොටෝ ගත්තා. 

මිනියෙ වැඩ අවසන් වෙලා නිසා අපි ඒ ගෙදර මිනුස්සුන්ට අපිට කරපු උදව්වට ස්තුති කරලා එන්න ආවා.

පහුවදාම මම ගෙදර ගිහින් කලේ ස්ටූඩියො එකට වෙලා ගත්ත ෆොටෝ සුද්ධ කරපු එක. 

මගේ ස්ටූඩියො එකේ දාලා තිබුන එක ලයිට් එකක් බොදවෙලා පුපුරලා ගියේ නිකන්මයි. මටවත් හිතාගන්න බැරිවුනේ මොකක්ද කියලා . 

ඒකත් අස් කරලා ආයිත් ගිහින් වැඩේ පටන් ගත්තා. ඒත් එක්කම නාන කාමරය පැත්තෙන් අඩි සද්දයක් ඇහුන නිසා ආයිත් මගෙ හිත ඒ පැත්තට ගියා.  

  මොන මගුලක්ද මන්දා මේක.. 

යටිහිතින් මුමුනගෙනම මම ගියෙ  නාන කාමරය පැත්තට . එතන කිසිම අවුලක් නෑ . ඒත් අන්තිමට එන්න හදද්දි මගේ ඇග ඇතුලට හීනි හිරියක් ඇදිලා ගියේ කන්නාඩියෙන් දැකපු දේ නිසයි. 

මගේ පිටිපස්සෙන් ආයිත් තිබුනේ මම එදා බයික් එකේ කන්නාඩියෙන් දැකපු ඒ දිලිසෙන ඇස් දෙකමයි. මම හැරිලා බැලුවත් ඒක පේන්න තිබුනෙ නෑ..

මගේ මනස්ගාත කියලා හිතින්ම බැනගෙන මම ගියේ ආපහු වැඩේට..  

පින්තූර ඔක්කොමත් අරගෙන එකින් එක බලන්නෙවත් නැතුව මම ගියේ සදරුවගෙ ගෙදර ගිහින් ඌවත් දාගෙන නිෂාන්ලට ෆොටෝ ටික දීලා එන්න කියලා හිතාගෙන.. 

  සදරුවගෙ අම්මා තේ එකක් අරගෙන එනකන්ම සදරුවා ෆොටෝ ටික බලනවා.  

"අඩෝ මේ චරිත් තොට පිස්සුද බන් මේ කනත්තෙ මිනිස්සු නැති පැත්තෙ නිකං පින්තූරයක් ගත්තෙ." සදරුව කියාගෙන ගියේ පින්තූර බලම ගමන්මයි. මමත් ගනන් ගත්තෙ නැත්තෙ වැරදිලා වදින්න ඇති කියලා හිතාගෙන. 

අපේ කතාවට බාධා කරගෙන සදරුගෙ අම්මා තේ එකක් අරගෙන ආවා. එතනින්ම පින්තූර බලන එක නතර කරපු අපි තේ බීලා කෙලින්ම ගියේ නිෂාන්ලගෙ ගෙදරට.. 

ඒත් අපි යනකොට නිෂාන් ගෙදර නෑ. ඌ කනත්තට ගිහින් බැනර් ටික ගලවන්න. අපිත් දැන් පාර මතක එකේ කනත්ත පැත්තට ගියෙ පින්තූර ටිකත් අරගෙන..

නිෂාන් අපි යනකොටත් ආච්චිගෙ සොහොනෙ මල්වඩම අස් කරනවා. අපිව දැකලා ඉස්සරහට ආපු ඌ අපි දුන්න පින්තූර ටික එතන ඉදන්ම බලන්න ගත්‍තා..  

"අඩෝ ඇයි බන් චරියා මේ හිස් එකකුයි , මේ සදරුවගෙ ගොන් මූණෙත් ෆොටෝ ගත්තෙ. ඒකනෙමේ උබලා කොහෙ ඉදන්ද මේ ෆොටෝ ගත්තේ ?" 

"ආහ් බන් අර ස්ලැබ් එකට නැගලා ගත්තෙ බලපන් ෆොටෝ ටික සුපිරිනේද ? "

මගේ වචන ඇහිලා නිෂාන් ඔලුව හරවලා ඒ ස්ලැබ් එක දිහා බැලුවා. 

තත්පර ගානකින් මූණත් අවුල් කරගෙන නිෂාන් මගේ පැත්තට හැරුනා.

"මොන මගුලටද ඕයි තමුසෙල ඒ ස්ලැබ් එකට නැග්ගෙ?"  බයවෙච්ච මූණක් හදාගෙන නිෂාන් අපෙන් ඇහුවෙ උපරිමෙන්ම යකා නැගලා.

"ඇයි බන් කෑ ගහන්නෙ ඒ අංකල්ලත් පට්ට හොදයි අපිට බීමත් දුන්නා මරු පවුල බන් අපි එයාලගෙත් ෆොටෝ ගත්තා ඔතන ඇති බලපන්.. " 

අපේ වචන ඇහෙනවත් එක්කම නිෂාන්ගෙ මුහුණ තවත් අදුරුවෙලා ගියා. 

"ආහ් එහෙමද බන් හරි හරි ඔය කැමරාවත් මට දීලා මේක අරන් ගිහින් අර කනත්තෙ ගේට්ටුව ඉස්සරහ කඩෙන් කෝක් තුනක් ගනින් මමත් එන්නම් තව සොහොනෙ පින්තූර ටිකක් අරගෙන.නිෂාන් කිව්වෙ මගේ අතට රුපියල් 500 කොළයකුත් දීලා.

මමයි සදරුවයි කැමරාවත් නිෂාන්ට දීලා කඩේට ගිහින් කෝක් තුනක් අරන් එකක් අයිනකින් තියලා අපේ ඒවා බොන්න ගත්තා. කැමරාවත් උස්සගෙන කඩාගෙන බිදගෙන අපෙ පැත්තට බයවෙලාවගේ දුවගෙන ආවේ නිෂාන්...

"මොකෝ නිෂාන් බයවෙලා වගේ .."  

"මම මොකට බයවෙන්නද බන් ගනින් ඔය කෝක් එක..නිෂාන් කෝක් එකත් අරගෙන එක උගුරට ගහලා දැම්මා.  බීලා ඉවරවුනු අපි බයික් දෙකෙන් ගියේ නිෂාන්ගෙ යාලුවෙක්ගෙ ගෙදරකට. ගේ ඇතුලට ගිහින් යාලුවත් සෙට් කරන් තමයි නිෂාන් පින්තූර ටික අතට ගත්තෙ.  

"චරිත් , සදරු උබල දෙන්නට අර ඇක්සිඩන්ට් එකක් ගැන මගෙන් ඇහුවා මතකද? අන්න ඒ සොහොන් ටිකේම මම පින්තූරගත්තා." 

"ඔය ඇක්සිඩන්ට් එක වුනේ කනත්තට කලින් වංගුවෙ. ත්‍රීවිල් එකක් ගිහින් වංගුවෙ හිටපු ගෑණු කෙනෙක්වත් හප්පගෙන ඒ ගෑණු කෙනාවත් ඇදගෙන ගිහින් තාප්පෙ හැප්පුනා."

"ඇක්සිඩන්ට් එකෙන් වීල් එකේ ඩ්‍රයිවර් , ඇතුලෙ හිටපු අපේ දර ව්කුණන අංකල්   එයාගේ දුවත් නැතිවුනා"

" ඒ එතකොට අර ඇන්ටිට මොකද උනේ හැප්පුන?". ඒ ඇහුවේ සදරුවා

"කරුමෙ කියන්නෙ ඒ ඇන්ටි තමා ඒ වීල් එක ඇතුලෙ ආපු අංකල්ගෙ වයිෆ්. මුලු පවුලම එකම දවසකින් නැතිවුනා..  "

මගේ හිත ඇතුලට ආවෙ අමුතුම දුකක් පවුලක්ම එක තැන නැතිවෙනවා කියන්නෙ හිතාගන්නවත් පුලුවන් දෙයක්ද ? 

"උබලා දෙන්නා බයවෙන්න එපා මේ තියෙන්නෙ ඒ සොහොන් හතරෙ පින්තූර.. "

නිෂාන් මටයි සදරුටයි පෙන්නුවෙ කැමරාව... 

පින්තූර ටික දැකපු ගමන් මතක් නොවුනත් තත්පර ගානින් මමයි සදරුයි මූණට මූණ බලාගත්තෙ ඒ කවුද කියලා අපිට මතක්වුන නිසයි. 

අපිට බීමත් හදලා දුන්න පවුලම තමයි ඒ සොහොන්වල හිටියෙ. මගේ හදවත නතරවෙනවා වගේ දැනුනා අන්තිමටම මට මතක මගේ එහා පැත්තෙ හිටපු සදරු කලන්තෙ දාලා ඇදගෙන වැටෙනවා විතරයි. මගෙත් ඔලුව කැරකෙන්න ගත්තා .

"චරිත් චරිත්..... "

මගේ වටේට වටවෙලා හිටියෙ නිෂානුයි තව යාලුවො දෙන්නෙකුයි.  

සදරු තවමත් පුටුවක වැටිලා අවසිහියෙන් වගේ. 

මට ආයිත් මතකෙට ආවේ ඊයෙ කනත්ත ගාව ස්ලැබ් එකේදියි පාරෙදියි දැක්ක මිනිස්සු ටික ගැන. "එතකොට ඒ ඔක්කොම හොල්මන්ද? මම මගෙන්ම අහගෙන නිෂාන්ගෙ අතේ තිබ්බ පින්තූර උදුරලා ගත්තෙ ඊයෙ මමම ගත්ත ඒ අයගෙ පින්තූර බලන්න හිතාගෙන. 

දෙවියනේ අර කෙල්ලවයි කොල්ලවයි තියලා ගත්තු පින්තූරෙ සම්පූර්නයෙන්ම හිස් කවුරුවත් නෑ. ඒකෙ තිබ්බෙ කනත්තෙ පින්තූරයක් විතරයි. සදරුවව තියලා ගත්ත පින්තූරෙ හිටියෙ ඌ විතරයි දෙපැත්තට අත් දෙකත් දාගෙන ඌ හිටියෙ හිස් අවකාශයක් බදාගෙන. පින්තූර ටික බලලා ඉවර වෙලා මම ආයෙමත් කැමරාවෙන් අර සොහොන්වල පින්තූර බැලුවා.  ඒ එක පින්තූරයකින් මගේ මුලු පපුවම හිරවෙලා ගිය. සොහොනේ එක් කොනකින් මතුවී තිබුනේ පෙර දෙදිනම මා දුටූ ඒ දිලිසෙන රත් පැහැ දෙනෙත් දෙකයි.

මා හට මතක එපමණකි .මා නැවතත් ක්ලාන්ත වන්නට ඇත.

අශාන් රවිශාද් - Written by Ashan Ravishad

Comments

Popular posts from this blog

මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 02 කොටස - මරා දැමුණු මිනිසා අතින් මිනීමරැවා ඝාතනය වෙයි

මරණයෙන් පිබිදුණු මිනිස්සු ග්‍රන්ථයෙන් - 01 කොටස - මරණින් පසු පුතුගේ ගෙදරට ආ "ලෙකි" මහත්මිය

මස්සිනා