අමුත්තා
පුද්ගලිකව ලැබූ අත්දැකීමක් නොවුනත් ලගම හිතවතෙකුගෙන් දැනගත් සත්‍ය කතාවක් මත පදනම්වුන කතාවකි...(නම් ගම් සහ ප්‍රදේශ පමණක් මනඃකල්පිතව ඉදිරිපත්කර ඇතිබව සලකන්න)
වර්ෂය:1989(JVP භීෂණය තදින්ම දිවයිනපුරා පැතිර තිබූ සමය)
ප්‍රදේශය:කෑගල්ල නගරයට ආසන්න පිටිසරබද ගමක්
නිමල් කොළඹ ප්‍රදේශයේ කර්මාන්තශාලා සේවකයකු වශයෙන් රැකියාවේ නියුතු ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයකින් හෙබි මැදිවියේ පුද්ගලයෙක් ඔහුගේ බිරිද රූපා ගෘහණියක් ගමේ කාගෙත් සිත් දිනාගත් කඩිසර බිරිදක් වූ මොවුන්ගේ පවුලට දරුවන් තිදෙනෙකි
ලොකු පුතා සංජීව විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිරතව සිටි අතර දියණිය ගිම්හානි උසස් පෙල හදාරමින් සිටියදී බාල පුතු කුසල් පාසලේ දහවන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටියා.අඩුපාඩුකම් මැද දිවිගෙව්වත් මේ පවුල ලද දෙයින් සතුටු වෙමින් එකිනෙකා සමග සහයෝගයෙන් ගමේ කා අතරත් හිත් දිනාගෙන සතුටින් ජීවත්වෙනු ලැබුවා.නමුත් අදුරු භීෂණ සමයෙ ආරම්භයත් සමග රටේ සෙසු පවුල් වලට මෙන්ම නිමල්ගේ පවුලටද අගහිගකම් වැඩියෙන් දැනුන අතර මරණබිය ඉහ ඉද්දර කැරකෙන අදුරු භීෂණයේ සෙවණැලි ඔවුන්ටද ඉදහිට පෙනී නොපෙනී යමින් තිබුණා.
මෙය ඔවුන්ට තදින්ම දැනෙන්නට ගත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියුතුව සිටි වැඩිමහල් පුතු සංජීව 'රතු කල්ලිය' හා සබදකම් පවත්වන බව වටින් ගොඩින් ලැබුණ ආරංචිත් සමගයි.නිමල් කිහිපවරක් මේ ගැන පුතු සමග සාකච්ඡා කිරීමට උත්සාහ කරත් ඒ සෑම අවස්තාවකම සංජීව පියාගෙ කීම ගණනකට නොගෙන එයින් ලිස්සා යෑමට පුරුදුව සිටියා.මෙයින් කිපුණු නිමල් කිහිපවතාවක්ම තම පුතුට දැඩි විරෝධයක් ප්‍රකාශ කිරීමටද පැකිලුණේ නෑ.ලොකු පුතා වැඩි වශයෙන් නිවසේ නොසිටි බැවින් අනෙක් දරුවන් දෙදෙනා තම බිරිද සමග තනිපංගලමේ නිවසේ තනිකිරීම ඔහුට සෑහෙන්න වදදෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා.නෑදෑ හිතමිතුරන් එකම ගමේ විසුවද පිටිසර ගම්වලා සාමන්‍ය ලක්ෂණයක් වන නිවෙස් එකිනෙකින් ඈතට වන්න පිහිටා තිබීම ඔහුගේ බිය තීව්‍ර කරන්නට හේතුවක් බවට පත්ව තිබුණා.
සුන්දර වෙල් යායකින් හා ඒ දෙපස කදු වලල්ලකින් වටවී තිබුණු මේ ගම්මානයේ අසුන්දර දින කිහිපයක් ගම්වැසියන්ට ගතකරන්නට සිදුව තිබුණේ ගමේ තරුණයන් කිහිපයකගේ මලසිරුරු උදෑසන කාලවල ටයර් සෑ මත,ලයිට් කණු අසබඩ සහ ඇලපාරවල්වල තිබී හමුවීමත් සමගයි.බොහෝවිට පොලීසිය විසින් කැලෑනීතිය ක්‍රියාත්මක කිරීමක් බව හැමෝටම දැනුනත් මේ සිදුවීම් සමග ගම්මුන් ජීවත්වුනේ තරමක බියෙන්.
තම බිරිදගෙන් මේ සිදුවීම්ගැන ලැබුණ ටෙලිග්‍රෑම් පණිවුඩයත් සමග ගෙන්දගම් පොළවෙන් මිදී වහාම ගමට දිවයාමට නිමල්ගේ සිත වදදීමට පටන්ගෙන තිබුණා.මෙය තවත් උඝ්‍ර කරමින් දින කිහිපයක සිට සංජීව ගැන කිසිදු තොරතුරක් නිවැසියන්ට නොලැබීමද නිමල්ට වහා ගමට යන ලෙස ඉගි සපයමින් තිබුණා.අදමෙන් දුරකතන බහුලව නොතිබු සමයක ලියමනකින් බොහොවිට සිදුකෙරුණ සංවාදයන්ගෙන් හරිහමන් තොරතුරක් නොලැබිකල අන් පිලිසරණක් නොවූ නිමල් සේවා වැඩමුරයක් නිමකර සවස් යාමයේ කෙසේ හෝ නිවෙස් බලා යාමට අදිටන් කරගත්තා.
ඔහුගේම කරුමයකට මෙන් එදින රටපුරා ඇදිරි නීතිය පනවා තිබූ දිනයක් වීම නිමල්ගේ ගමනට ආරම්භයේම බාධාවක්ව තිබුණා.ගමනට බස් රථයක්වත් නොතිබිකල ඔහුගේ පිහිට වන්නේ කුඩා කලපටන් නිමල්ගේම මිතුරකු වූ තිලක්.තිලක් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සාමාජිකයකුගේ රියදුරකු වූ බැවින් ඇදිරි නීතිය පවතින සමයක වුව රටතුල ගමන් බිමන් යෑම ඔහුට එතරම් බාධාවක් වුනේ නෑ.නිමල්ව හමුවන ඔහු නිමල්ගේ වාසනාවට මෙන් සිටින්නේ නුවර බලා යෑමේ උවමනාවකයි.තම මිතුරා මෙන්ම ඔහුගේ පවුලේ උදවිය හොදින් දන්නා තිලක් නිමල්ට උදව් දීමට නොපැකිලිව ඉදිරිපත් වන්නේ සැබෑමිතුදමේ කල්ප කාලාන්තර බැදීම් ඉස්මතු කරමිනි.සවස් යාමයේ කොළඹින් පිටත්වන මොවුන් දෙදෙනට කෑගල්ල කරා ඒමේදී මාර්ග බාධක බොහොමයක් පසු කරගෙන ඒමට තිබුණද තිලක්ගේ දේශපාලන දැනහැදුනුකම් උදව්වට එමින් ඔවුන් කිසිම බාධාවකින් තොරව කෑගල්ල නගරය වෙත සේන්දුවෙනවා.
නිමල්ව නිවස කරා ඇරලවීමට තිලක් ගිවිසගෙන උන්නද තවත් බාධාවක් සිදුවෙනවා.ඔවුන් මෝටර් රථයේ වේගයෙන් ගම දෙසට ඇදී එද්දී එක්වරම පාර හරහා කිසියම් මනුෂ්‍යයෙක් මාරුවෙන්නට පැමිණෙන බවක් මිත්‍රයන් දෙදෙනාට පෙනී යනවා.අදාලා රූපය දෙසට වාහනය ලං වනවාත් සමගම එක්වරම එම රූපය නොපෙනී යන අතර තමන් දුටුවේ හිතලුවක්දැයි සිතන නිමල් තිලක්ගෙ මුහුණ දෙස බලන අතර ඔහුගේ මුහුණේ ඇති තිගැස්ම දුටු නිමල් ඔහුද එය දුටුබව සැකහැරගන්නවා.නමුත් දෙදෙනා මුවින් වදනකුත් ඒ ගැන නොදොඩා ඉදිරියට ඇදෙන විට තවත් වැඩි දුරක් යාමට මත්තෙන් තඩි කලු බලලෙක් වාහනය යන මාර්ගයට පනිනු ඔවුන් දකිනවා.වේගය පාලනය කරගත් නොහැකිවන රථය බළලාගෙ ඇග මතින් ගමන් ගනිද්දී තිලක් අපහසුවෙන් රථය නවත්වාගන්නා නමුත් මේ සමගම රථයේ පසුපස ටයරයක පැච් එකක් ඇතිවූ බව හගවමින් ටයරයෙන් හඩක් නගනවා.සිදුවූ දෙයින් තුෂ්ණිම්භූතවන මිතුරන් දෙපල රථයෙන් බැසගන්නේ වාහනය පරික්ෂා කිරීමටයි.
ඔවුන් පැහැදිලිව දුටු පරිදි රථයට බළලෙකු යටවූවත් ඒ හා සම්බන්ධ ලකුණක රථයේ හෝ ටයරයක නොතිබීම ඔවුන් බියට පතකරවනවා.ඔවුන් සිතූ පරිදිම පසුපස ටයර දෙකේම හුලං ගොස් තිබෙන බව දුටුවද එය සිදුවූයේ කෙසේදයි සොයාගැනීමට දෙමිතුරන්ට සොයාගැනීමට ලැබෙන්නේ නෑ.මින් ඉදිරියට රථය ගෙනයාම නිෂ්පල බව තේරුම්ගන්නා නිමල් තිලක්ගේ මුහුණ දෙස බලනවා.බලාපොරොත්තු කඩවීමක් පෙන්නුම් කරන ඔහු තම මිතුරා දෙස බලා
"මචං වාහනේ මෙතනින් එහාට ගෙනියන්න වෙන්නෙ නෑ.අපි මොකද කරන්නේ" යැයි විමසා සිටිනවා.
කරන්නට කිසිත් නොමැතිව වටපිට බලන නිමල් ඈතින් පිහිටි නිවසක් දකිනවා.
"අපි අර ගෙදරින්වත් උදව්වක් ඉල්ලමු"නිමල් පවසා සිටියදී තිලක්ද එයට එකගවනවා.
දෙදෙනා නිවෙස දෙසට යන අතර කුඩා පැල්පතක් වන එහි කුප්පි ලාම්පු එලිය ඈතට දිස්වනවා.නිවසේ කිසවකු ඇත්දැයි විමසීමට ඔවුන් නිවැසියන්ට අඩගසනවා.නිවසෙන් එලියට පැමිණෙන්නේ රූමත් යුවතියක්.මෙවන් ස්ථානයක තනිපංගලමේ යුවතියක් සිටීම ඔවුන් පුදුමයට පත්කරන කාරණයක් වුවද අවස්ථාව අනුව එය සිතීමටවත් මිතුරන් දෙදෙනාගෙ සිත්වලට ඉඩක් නොතිබුණි.
"නංගි අපේ වාහනේ පැච් එකක් ගියා.ඒක හදාගන්න විදියක් නෑ.උදව්වට කව්රුත් ඉන්නවද බලන්න මේ පැත්තට ආවෙ.කව්රුත් නැද්ද ගෙදර?" තිලක් විමසා සිටිනවා
"අප්පච්චි මායි විතරයි අයියා මේ ගෙදර ඉන්නෙ.අප්පච්චි දුර ගමනක් ගිහින් කාලෙකට එන්නෙ නැතිවෙයි" එය පවසනවාත් සමගම ඇයගේ සුන්දර මුහුණේ මද සිනාවක් ඇදී ගියත් එය තුල සැගවුණ කුරිරු බවක් නිමල්ට දැනෙන්නට විය.
එහෙනම් කරන්න වෙන කිසිම දෙයක් නෑනෙ.
"මං කියන්නද නිමල්.උඹ ගොඩක් දවසකින් ගෙදර එන්නෙ.මෙතනට වෙලා ඉදලා උඹට වැඩක් වෙන්නෙ නෑ.උඹ ඔයටික පයින් හරි ගිහින් ගෙදරට පලයන්" තිලක් පැවසීය
"මේ මහ රෑ උඹව මෙතන දාලා යන්න මට හිතදෙන්නෙ නෑ.ඇරත් උඹ යන්න ගිය ගමන හැරිලා මේ පාරෙන් ආවෙ මාව ගෙදරට දාන්න.ඉතින් උඹව දාලායන්න මට හිතදෙන්නෙ නෑ" යැයි නිමල්ගේ මුවින් පිටවිය
"කාරි නෑ...යාලුවෙක් වෙනුවෙන් උදව්වක් කරන එක මට සතුටක්.උඹ දැන් පලයන්.මේ ගෙදරත් තියෙනවනෙ.පොලිස් වාහනයක්වත් ආවොත් මං උදව්වක් ගන්නම්.උඹ දැන් පලයන්"
තිලක්ගේ කීමට එකගවූ නිමල් ඔහුගෙන් හා ආගන්තුක යුවතියගෙන් සමුගෙන කෑලි කැපෙන ඝන අදුර මැදින් තම නිවෙස කරා පිටත්විය
නිමල් පිටවී මදවේලාවකින් කාරය පිහිටි ඉසව්වෙන් පිරිමියෙකුගේ මරලතෝනි හඩක් සමග කාන්තාවකගේ වියරු සිනහවක් ඇසුණද ඒ ගැන උවමනාවක් දක්වන්නට කිසිවෙකු ඒ අදුරු රාත්‍රියේ ඒ අසල නොවීය.බකමූණන්ගෙ හඩ කිහිපයක් සමග සියල්ල නිහඩවිය
මේ අතර තම නිවෙස කරා ගමන් ගනිමින් සිටි නිමල්හට කිසිදා නොදැනුන චකිතයක් සිතේ පැලපදියම් වෙමින් තිබිණ.මෙවන් රාත්‍රීන්හිදී ඔහු කොතෙකුත් මෙලෙස නිවෙස කරා පියනැග තිබුණත් භීෂණ සමයේ අදුරු සෙවණලි මග දෙපස දකින්නට ලැබීමත් සමග ඔහු මෙවන් ගමන්වලින් හැකිතරම් වලකින්නට ඉටාගෙන තිබුණි.නමුත් එදින දෛවයේ සරදමකට මෙන් ඔහුට මෙලෙස ගමනේ යෙදීමට සිදුවුනි
අද මෙන් වීදි ලාම්පු එලි එකල සැමතැනම නොතිබු බැවින් ඔහුට ගමනේ යෙදීමට තිබුණේ ඝන අදුර තුලිනි.කලාතුරකින් නිවෙස්ද පිහිටා තිබුනේ එකිනෙකට දුරින් බැවින් පරිසරය ඉසිලුවේ දැඩි පාලු ස්වභාවයකි.තවත් හැතැප්ම පහ හයක් අදුරේම ගමන් කිරීමට තිබූ නිසාත් ගමනේ වැඩි හරියක් පාලු රබර් වතු මැදින් වැටී තිබූ නිසාත් තමන් ලග ටෝච් එලියක් එලියක් බෑගයේ තබාගෙන සිටීම ගැන ගැන නිමල් සිටියේ යටි සිතින් සතුටු වෙමිනි.නමුත් එහි එලිය මේ කෑලි කැපිය හැකි අදුර පරයා යාමට තරම් බලවත් නොවීය.
මෙලෙස ටික දුරක් ඉදිරියට ඇදෙන ඔහු වංගුවකින් හැරෙනවාත් සමගම ඔහු දකින දර්ශනයෙන් ඔහු බිරාන්ත විය.
රතුපාට ගිනිජාලාවක් තුල යමක් දැවෙමින් තිබිණි.එයින් වහනය වූ පුලුටු ගදත් සමග ටයර් සෑයක් තුල දැවෙන්නේ මිනිසි සිරුරක් බව වටහාගැනීමට නිමල්ට වැඩි වේලාවක් ගතනොවිය.මදකට එහාට වන්නට පිහිටි ලයිට් කණුවේ බැද දමා තිබූ සිරුරකි.තරුණයකුගේ සිරුරක් වු එහි හිසක් තිබූ තැන ලේ පැල්ලමක් පමණි.හිස සීසිකඩ වන්නට වෙඩි තබා ඇතිබව පැහැදිලිය.මෙවන් දසුන් මේ සමයේ සුලභ වූවද නිමල්ගේ සිත එක්වරම මහා චකිතයකින් වෙලීයන්නට විය.එය තවත් තීව්‍ර කරමින් ඈතින් නරි කිහිපදෙනෙක් කෑගසන හඩද ඔහුගේ සවන් වැකුණි.තවඩුරටත් මෙහි නතරවී සිටීම නොගැලපෙන බව සිතූ නිමල් වහා පය ඉක්මණ් කර ඉදිරියට ඇදෙන්නට විය.
අත බැදි ඔරලෝසුවේ වේලාව 11.30 පමණ වනවිට නිමල් නිවෙසට හැතැප්ම තුනක් පමණ වනතෙක් දුර ගෙවා තිබුණි.මද වේලාවකට කලින් දුටු දර්ශනයෙන් හිත හොදටම සලිතව තිබූ නිමල් ඉක්මණ් ගමනින් පාලු රබර් වත්තක් මැදින් ගමන් කරමින් සිටින අතර අන්ධකාරය තුල කිසියම් රුවක් තමාදෙස බලාසිටින බව ඔහු දිටිය.සිත එක්වරම සසල වූවත් එය කුමක්දැයි වටහා ගැනීමට ඔහු තමන්ගේ ටෝච් එලිය එදෙසල එල්ල කරන්නට විය.ඔහුගේ සිත තවත් සසල කරමින් ටෝච් එලිය දුර්වල වී ගොස් සම්පූර්ණයෙන්ම නිවී ගියේය.ඒ සමගම තරමක සැඩ සුලගක්ද රබර් පිටිය හරහා ඇදී යමින් තිබුණු බැවින් ඔහුට කුමක්වත් සිතාගත නොහැකිවිය.අදුරේ වූ රුවද ඔහු දෙසම බලාගත් වනම ඉන්නට විය.හිතට දිරිය ගත් නිමල් නිහඩබව පරයමින්...
"කව්ද ඔතන" යැයි විමසීය
අදුරු ඡායාවෙන් කිසිම පිලිතුරක් නොමැත.ඔහු අදුරේම එදෙසට ඇදීයන්නට විය.අදුරේ සිටගෙන සිටින්නේ තමාගේ වැඩිමහල් පුතු සංජීව බව දුටු නිමල්ගේ සිතට අස්වැසිල්ලක් ඇටිවූවත් ඔහු පිලිතුරු නොදී සිටීම ගැන නිමල්ට ඇතිවූයේ තරහකි
"උඹ මේ මහ රෑ දෙගොඩහරි ජාමේ මේ රබර් කැලයක් අස්සෙ අහවල් එකක් කරනවද"
එහෙත් සංජීවගෙන් කිසිදු පිලිතුරක් නොමැත.මෙයින් වඩාත් උරණවූ නිමල්
"දැන් තොට මට උත්තර දෙන්න බැරිතරමට කටේ පිට්ටු හිරවෙලාද.මං කොළඹට වෙලා තොපි වෙනුවෙන් මැරෙනවා.තෝ කැම්පස් යනවා කියලා එකා එකා එක්ක දේසපාලනේ කරනවා කියලා මට ආරංචි.මං ගෙදර නැතිටිකේ අම්මයි අර දරුවො දෙන්නයි තනිපංගලමෙ දාලා උඹ මෙහෙමනම් හැසිරෙන්නෙ උඹේ දරුකමෙන් මට වැඩක් නෑ." යැයි පවසද්දිත් සංජීවගෙන් කිසිදු පිලිතුරක් නොවීමෙන් තවත් උරණ වු නිමල්
"දැන් තෝ මගෙන් මැරුම් නොකා වරෙන් මෙන්න මෙහෙට" යැයි පැවසීය
මෙතෙක් ඇදුරේ තිබු රුව පාවෙමින් මෙන් නිමල් දෙසට ඇදෙන්නට විය.අදුරේ සිටි රුවට හද එලිය වැටීමෙන් පසු දුටු දෙයින් නිමල්ගේ සිරුරම වෙව්ලන්නට විය.සංජීවගේ හිසේ පදාසයක් ගැලවීයන්නට වෙඩි පහරක් එල්ලවී තිබුණි.එය ඔහුගේ මුහුණේ කොටසක් ගලවාගෙන දත් ඇන්දේ එක් පසක් නිරාවරණය කරමින් හිසේ ඉහල කොටසින් පිටතට ගොස් තිබුණි.සිරුර පුරා පිලිස්සුම් සලකුණුය.ඔහුගෙන් වහනය වන්නේ මලසිරුරක් පිලිස්සෙනවිට එන පුලුටු ගදය.පිටතට නිරාවරණය වූ ඔහුගේ දත් ඇන්ද පෙන්නමින් සංජීව එක්වරම වියරු සිනහවක් නගන්නට විය.
"උඹ දැන් පරක්කු වැඩී මහ එකෝ...උඹට අපි එකෙක්වත් බේරගන්න බැරිවුනා.උඹත් වරෙන් අපි එක්කම යන්න"
එසේ පවසමින් ඔහු නැව්තත් වියරු සිනහවක් නගන්නට විය.සිනහවෙන විට ඔහුගේ දත් ඇදි අස්සෙන් ලේ කැටි රුරා වැටෙන්නට විය.සිදුවූ දෙයින් සිහිමද ගතියට පත්ව සිටි නිමල් වහා සිහි එලවාගෙන ඉදිරියට දුවන්නට විය.පසුපසින් සංජීවගේ වියරු සිනහව නොනවත්ව ඔහුගේ සවනපුරා දෝංකාර දෙමින් ඇසෙන්නට විය.
විටෙක මාර්ගයේද විටෙක කැලෑවල් තුලින්ද වැටි වැටී නැගී සිටිමින් දිවයන්නට වූ නිමල්ට නිවෙස අසලට එනවිට ඔහු හොදටම හෙම්බත්වි සිටියේය.ඇග පුරා සීරුම් තුවාල වලින්ද කතා කරගැනීමට නොහැකිව කෙල සිදී තිබූ මුවින්ද සිටි ඔහු නිවෙසට ලගාවන විට සිටියේ මරණාසන්න වූවෙකු මෙනි.
ගරාවැටුණු ගේට්ටුවකින් හා තාප්පයකින් ආවරණය වූ නිවෙස පිහිටියේ වත්ත මැදට වන්නටය.දැඩිසේ බියට පත්වසිටි නිමල් ගේට්ටුව ඇරගෙන නිවෙස දෙසට ඇදෙන්නට විය.නිවස දැඩි අදුරක ගිලී තිබුණු අතර කිසිදු ශබ්දයක් නැති මූසල ස්වභාවයක් උසුලන්නට විය.බල්ලන් උඩුබුරලන හඩක් ලග ලගම ඇසෙන්නට වූ අතර නිවෙස දෙපස පිහිටි පොල්ගස් කිහිපය හා රබර් කැලයේ වූ රබර් ගස් එක්වරම ආ මහා සුලගකින් බිමට බරවන්නට විය.නිවෙස ඉදිරිපිට මිදුලේ වු කුසල් ගෙමිදුලේ තට්ට තනියම කිසිවක් කුරුටු ගාමින් සිටියේය.වෙන දිනෙක නම් මෙය කුසල්ට දඩුවම් විදීමට වෙන කාරණයක් වුවද ඒ අවස්ථාවෙ නිමල්ට එවන් සිහියක් නොවිය.
"පොඩි පුතා උඹ මේ රෑ දොගොඩහරි ජාමේ මෙතන මොනා කරනවද.යමු ඇතුලට"නිමල් කුසල්ට පැවසීය.කුසල්ට පියාගැන වගක් නොවීය.වෙනදා තත්තා දුටුවන ඔහුගේ ඇකයට පනින කුසල් අද ඔහුගේ කාර්‍යයේ දිගටම යෙදී සිටින බවක් දක්නට විය.
"කෝ අම්මලා" නිමල් නැවතත් කුසල්ගෙන් විමසීය
කිසිත් නොදොඩාම කුසල් නිවෙස දෙසට තම ඇගිල්ල දිගුකර පෙන්වීය.
"හා කෝ යමු ඇතුලට"
නිමල් පැවසුවේ ලොකු පුතා ගැන දුටු දෙයින් තම පොඩි පුතුව එලිපහලියේ තනිකර යෑමට අකමැත්තෙනි.නමුත් එක්වරම නැගීසිටි කුසල් කිසිවක් නොදොඩාම අදුර දෙසට දිවගොස් නොපෙනී ගියේය.සිදුවන දෙයින් තවත් චකිතයට පත්වූ නිමල් වහා නිවස ඇතුලට පියමැන්නෙය.නමුත් ඔහු දුටු දෙයින් ඔහුට ඉබේම කෑගැස්සුනි.ඔහුගේ බිරිදගේ හිසින් වෙන්වූ සිරුර ගෙමැද සාලයේ වූ අතර.කුඩා පුතුද ඒ අසලම මුණින් අතට වැටී සිටියේය.හඩාවැලපෙමින් ඔවුන් අසලට පියමැන්නද ඔහුට උත්තර දෙන්නට ඒ සිරුරුවල ප්‍රාණයක් නොවීය.ඔවුනගේ සිරුරුවලින් පිටවූ රුධිරයෙන් ගෙමැද්ද නැහැවී තිබූ අතර දියණියගේ කාමරය දෙසින් ගොර ගොර හඩක් නැගෙන්නට වූ බැවින් ඔහු ඒ දෙසට ගොස් බලන්නට විය.දියණියගේ කාමරයේ ඇදමත ඇය උඩුබැලි අතට වැටී සිටි අතර බෙල්ලේ සහ බඩමත දරුණු කැපුම් තුවාල දකින්නට විය.ඇයගේ බෙල්ල මතවූ කැපුම් තුවාලය තුලින් උණුසුම් රුධිර දහරා එලියට විදිමින් තිබුණි.දියණිය අසලට දිවගිය නිමල් හඩමින් ඇයව වත්තන් කරගෙන
"මගෙ පවුලට මොකද මේ වුනේ" යැයි ලතෝනි දෙන්නට විය.ගිම්හානිගේ කටින් නිකුත්වන ගොර හඩත් සමගම ඇය ඔහුගේ පියාගේ අත තදින් මිරිකාගනිමින්ම අවසන් හුස්ම හෙලීය.සිහිවිකල්වූවකු පරිද්දෙන් හඩමින් උන් නිමල් පියවි සිහියට එලඹියේ නිවස්වෙ හෝරා යන්ත්‍රයේ රාත්‍රී එකේ කණිසම සටහන් වද්දීය.ගෙමැද්ද දෙසින් සතෙකුගේ මෙන් ශබ්දයක් ඇසුණ බැවින් නිමල් ඒ දෙසට ඇවිදගියේය.ඔහු දුටුවේ අභූත දර්ශනයකි.ඔහුගේ පුතු සංජීව ගෙමැද්දට වී මවගේ හා බාල සොහිහුරාගේ මලමිනී ආහාරයට ගනිමින් සිටියේය.කට දෙපැත්තෙන් ලේ සමග කෙල පෙරමින් ඔහු ඔවුන්ගේ බඩවැල් එලියට අදිමින් ආහාරයට ගනිමින් සිටියේය.කිසිත් කරකියා ගන්නට නොහකි වූ නිමල් මරලතෝනි දෙමින් නිවසේ පසුපස දොරෙන් එලියට පැන ගේට්ටුව දෙසට දිවයන්නට විය.වේගයෙන් දිවගියද ඔහුට ගේට්ටුව දුරින් පෙනුනා මිස ඔහු ඒවෙත ලංවන බවක් ඔහුට නොහැගිනි.එය කිසියම් පිරිසක් විසින් ඔහුව තදින් ග්‍රහණය කරගෙන සිටිනවාක් වැනිවිය.වියරුවෙන් මෙන් දිවයන්නට දගලන නිමල්ට ග්‍රහණය තවත් තදවෙමින් පිටුපසින් මහහඩින් නගන වියරු සිනහ හඩවල් ඇසෙන්නට විය.එය ඔහුගේ නිවැසියන්ගේ හඩවල් බව ඔහුට වැටහුණද බියට පත් ඔහුට පසුපස හැරෙන්නට ශක්තියක් නොවීය.එක්වරම පිටුපසින් වූ ග්‍රහණය ලිහිල් වනවාක් මෙන් දැනුන නිසාම ඔහු ඉතා වේගයෙන් දිවගොස් ගේට්ටුව අසල නතරවීය.ගමන් මහන්සියෙන්ද ඇගෙහි වූ තුවාල වලින්ද දුටු දේවලින්ද හෙම්බත්වී සිටි ඔහුට ලෝකය තමාවටා කැරකෙන්නාක් මෙන් හැගෙන්නට විය.වියරු සිනාහඩවල් මැද්දේ තමා අසල සිටගෙන් සිටි තිලක්ගේ ලේ ගලන රුව දුටු ඔහු එතැනම සිහිසන්ව ඇදවැටුණි.
පසුදින උදෑසන ගම්මුන් විසින් නිමල්ව සොයාගන්නාවිට ඔහු සිටියේ ගේට්ටුව අසල පිහිටි ඔහුගේ මවගේ සොහින මත සිහිසන්වය.එය කීමට ඔහුගේ නිවසට ගිය පිරිස දුටුදෙයින් ඔවුන් විශ්මයට හා දුකට පත්විය.ඔහුගේ බාල දරුවා දියණිය හා බිරිද නිවස තුල කපා කොටා ඝාතනය කර තිබිණි.මලගම කටයුතු සිදුකරද්දී නිමල් සිටියේ උණ විකාරයෙන් මෙන් කියවමිනි.ඔහුගේ පුතා සංජීව ගැන කිසිදු ආරංචියක් නොමැතිවිය.(අදටද ඔහුට සිදුවූ දේ ගම්මුන් නොදනී) නිමල් පැවසූ පරිදි ඔහුගේ මිතුරාවු තිලක් ඔවුනගේ වාහනය නතරවූ තැනට ටික දුරකින් මියගොස් සිටියදී මුර සංචාරයේ යෙදෙන පොලිස් රථයකට හමුව තිබුණ අතර ඔහුගේ සිරුර පුරා දරුණු නිය පහරවල් හා හැපුම් පහරවල් විය.බැලු බැල්මට එය සතෙකුගේ පහරදීමක් මෙන් පෙනුනද සිද්ධිය දුටු සමහර පුද්ගලයන් කියන පරිදි එය එසේ නොවීය.නිමල් පැවසු පරිද්දෙන් නිවෙසක් ඒ පෙනෙන මානයේ නොවූවත් මෑතකදී මලගිය තරුණියක වලදැමු සොහොනක් ඒ අසලම විය.මරණ කිහිපයකට සැකපිට නිමල්ව මලගමෙන් දින දෙක තුනකට පසුව අත්අඩංගුවට පත්වූවද රිමාන්ඩ් බන්ධනාගාරය තුලදී ඔහු මියයන්නේ එල්ලී සියදිවිනසාගැනීමෙනි.සමහර ගම්මුන්ට අනුව නිමල් යනු තම පවුලේ සියල්ල ඝාතනය කල මිනීමරුවෙක් උවද ඔහුගේ කතාව විශ්වාස කරන අයද ගමේ තවමත් ඉතිරිව ඇත.ඔවුන් කියන පරිදි නිමල් කෑගසන හඩහෝ ඔහුගේ මරලතෝනි කාටත් ඇසීමට ඇති හැකියාව ඉතා අල්පවන්නේ ඔවුන්ගේ නිවසට ආසන්නම නිවස හැතැප්ම බාගයක් පමණ දුරින් පිහිටි නිසාවෙනි.එමෙන්ම ඔහුගේ නිවෙස තිබෙන ඉසව්වද පාලු ස්වභාවයක් උසුලන අමනුෂ්‍ය බලවේග වලට ක්‍රියාත්මක වීමට වඩා සුදුසු පරිසරයක් මවාපායි.මෙම සිදුවීම් වලින් දැනට වසර තිහක් පමණ ගතවී තිබුණද තවමත් එම නිවෙස තිබූ ස්ථානයේ වල්බිහිවි ගරාවැටුණු පස් කණ්ඩියක් මෙන් දිස්වන අතර අදුරු කතාවක් සගවමින් මියගිය ඔවුන්ගේ සොහොන් වත්ත කෙලවරක නිසොල්මන්ව අප දෙස බලා සිටී.
නිමි
උපුටා ගන්නා ලද්දකි.
සෙල්ලක්කාරයා.
සත්‍ය සිදුවීමක් ඇසුරෙණි.
Comments
Post a Comment